“මකරානන්දය” නවකතාව පිලිබඳව විචාර ලිපිය.
සිංහල නවකතාව
වූ කලී පාඨකයාගේ චිත්ත
සමුදාය විවිධ මානයන්ගෙන් ගෙන
හැර දක්වන ඉතා අපූර්ව
නිර්මාණයකි. වචනයේ පරිසමාප්ත අර්ථයෙන්
ම විරාජිනී
තෙන්නකෝන් මහත්මියගේ “මකරානන්දය” කෘතිය ද එවන්
වූ නිර්මාණයකි. කලු සුදු
චරිත අතරින් මතුවන මිනිසාගේ
චිත්ත අභ්‍යන්තරය මනා ලෙස අකුරු කරමින් කෘතිය හා ඒකාත්මික වීමට
හැකි පසුබිමක් “මකරානන්දය” පුරාවටම පාඨකයාට ලබා දෙයි. එසේ වීමට ප්රබලතම හේතුව ලෙස දැකිය හැක්කේ
පරිනත වීමේ දී සිත පුර පැන නගින ක්ලේශයන් මෙහි සදහන් චරිත මගින් මනාව නිරූපණය වීමයි.
“සේපාල කියන්නෙ මගෙ නම.” (පිටුව 07)
කෘතියේ ආරම්භය ද ඉතා අපූරුවට රචනා කර ඇත. නමුත් එය වැටහෙන්නේ නවකතාවේ දෙවන පරිච්ඡේදය ආරම්භ වීමේදී ය. නවකතාවක් තුල ඇති නවකතාවක් ලෙස මෙය හදුන්වා දිය හැක්කේ එබැවිනි.
කතුවරිය විසින් ගොඩනගන ලද සේපාලගේ චරිතය විසින් “මකරානන්දය” පාඨකයාට සජීවී කර ඇත. එමගින් මෙය හුදෙක් පරිකල්පනයක් නොව ජීවමාන සිදුවීමක හෘද සාක්ශිය කියවීමක්
ලෙස අර්ථකතනය කල හැකිය. නවකතාවට අනුව සේපාල යනු අනුරාධපුර
නගරයේ නගර සභාවේ සේවකයෙකි. පිය උරුමය යැයි සලකා නගර සභා කුනු
ලොරියේ අනියම් සේවකයෙකු ලෙස සේපාලගේ පලමු රැකියාව ආරම්භ වේ. පසුව එය ඔහුගේ ජීවිතයේ කඩයිමක් වන පුස්තකාලය දක්වා ගලා එයි.
“යකෝ මේ කුනු එක්ක හැප්පෙන අපිට සෞඛ්‍ය රක්ෂණයක් නෑ. ඒත් අරකේ පෑන අල්ලන එවුන්ට හෙම්බිරිස්සාවටත් රක්ෂණයක් තියෙනවා.”
(පිටුව 11)
නගර සභාවේ කුනු අදින්නන්ගේ කතාව ඉතාමත් සරලව නමුත් ගැඹුරු අර්ථයක් දෙන පරිදි
එසේ සදහන් කර ඇත. වෙහෙස මහන්සි
වී දෑතේ දෙපයේ වැඩ කරන ජනතාවට කිසිවෙකුගේ සරණක් නැත. සරණක්
ඇත්තේ සරණක් ඇති ජනතාවටය. කොතැනත් එය සිදු වේ. සිස්ටම් එක වෙනස් කරන්නට නම් මේ මොල ගෙඩි ගලවා සුද්ධ කල යුතුය. නමුත් එය කල නොහැක්කකි. එබැවින් සෑමදාම සිදු වූ
ලෙස සරණක් හිමි අයට සරණක් අහිමි අය සේවය කරයි. ගොඩ ඒමක් නම්
තව හත් ගව්වකටත් වඩා ඈතය. මෙම සිදුවීමෙන් මෙන් ම නිසියාකාර
හේතුවක් නොමැතිව සේපාලගේ ස්ථාන මාරුවෙන් ද කතුවරිය සමාජ අසාධාරණයට ලක්ව ඇති මෙවැනි
සරණක් අහිමි මිනිසුන් වෙනුවෙන් හඩක් නගා ඇති බව මා හැගි අදහසයි. එනමුත් කල යුතු කාරිය සරණක් නැති වූවන්ගේ අතින් මනාව සිදු වේ. එය ඉස්මතු කර දක්වා ඇත්තේ ඩික්සන් අයියාගේ චරිතයෙනි.
“එහෙම නෙවෙයි බං ඔය කියන්නේ.අපි හැමෝටම වෙලා තියෙන
දේ.අපිට අපේ ජීවිත අමතක වෙලා.අපි
අපේ ජීවිතේ කියල හිතා ගෙන වෙන මොකක්ද ලබ්බක් දිහා බලාගෙන ඉන්නවා. එතකොට අපිට අපේ ඇත්ත
ජීවිතේ මග ඇරෙනවා.” (පිටුව 13)
කුනු ලොරියෙන් පුස්තකාලයට උසස් වීමට ලැබුන සේපාල තව දුරටත් කුන්නෙක් නොවේ. ලද දෙයින් උපරිම ප්‍රයෝජන ගෙන නැගී සිටින්නට වෙර දරණ තරුණයෙකි.
තමාට හැකි පමණින් තේරුම් ගනිමින් ඔහු පුස්තකාලයේ පොත පත කියවයි.
මිනිසාගේ චිත්තය තුල සිදු වන වෙනස්කම් ඉතා මැනවින් එමගින් නිරූපණය
වේ. ජීවිතය නම් දිය ඇල්ලෙන් වතුර ස්වල්පයක් බෝතලයකට දමා එම
වතුර බෝතලයේ ඇති ලේබලය දෙස බලා සිටින මිනිසා පිලිබදව සේපාලගේ පැනයට පිලිතුරු ලෙස ඩික්සන්
අයියාගේ වදන ඉහත උදෘතයෙන් දැක් වේ. මනා සංයමකින් යුතුව හරවත්
උපමා, වාචාර්තයට නොදෙවෙනි කොට කතුවරිය සදහන් කර ඇත.
විදිමත් අධ්‍යාපනයක් නොමැති වුවද තම ජීවන අත්දැකීම් තුලින් ජීවිතයේ
සැබෑ හරය ඩික්සන් අයියා විසින් අවබෝධ කර ගෙන ඇති බවට කදිම නිදසුන මෙයයි. අප අතරද මෙවන් ඩික්සන් අයියලා අනන්තවත් ඇත. නමුත්
අවාසනාවකට අප ද බෝතලයේ ලේබලය දෙස බලා සිටින මිනිසුන්ය.
ඒ අනුව සමස්ත මිනිසා ම තරගකාරී සමාජය තුල කොටු වී සිර වී ඇති බවත්,
නිදහස යන සැබෑ වින්දනය ඔවුනට අහිමි වී ඇති බවත් මෙමඟින් ඒත්තු ගන්වා
ඇති බව මනාව ගම්‍ය වේ.
“මට තිබුණ එකම කණගාටුව වුණේ පොතක් පතක් කියවීමේ මහඟු අවස්ථාව මගෙන් ගිලිහිලා
යන එක ගැන විතරයි.”
(පිටුව 18)
පහත් තැනින් සැමදා ජලය ගලා යන බව පසක් කරමින් නගරාධිපතිතුමාට එරෙහිව කැරලි ගැසූ
චෝදනාවට සේපාලට ස්ථාන මාරුවක් ලැබේ. නමුත් එය සේපාලට විරුද්ධව සිදුව ඇති කැරල්ලක් බව වටහා ගැනීමට අපහසු නොවේ. එය හුදෙක් පොඩි මිනිසෙකුගේ නැගී සිටීම අවලංගු කර දැමීමකි. මේ කිසිවක් වටහා ගත නොහැකිව කියවීමෙන් පමණක් ම තමන්ගේ දැනුම වර්ධනය කරගත්
සේපාලට ඇති එකම දුක පුස්තකාලය අත් හැර ඒමයි. අව්‍යාජ ගැමි
ලක්ෂණ එම සිදුවීමෙන් ඉස්මතු වේ. එසේ සේපාලට අසාධාරණයක් වූවද
ඔහුගේ ඒ පැමිණීම අලුත් ආරම්භයකට පාදම ලෙස කතුවරිය
මනාව යොදා ගෙන ඇත.
“ඒ ෆයිල් එක ඇත්තට ම කතා සාගරයක්.මම එදා හවස් වරුවෙම
ඒ කතා සාගරේ පීන පීන හිටිය මිසක් කන්නවත් නැගිට්ටේ නෑ.” (පිටුව 20)
එලෙසින් කතුවරිය අකුරු කර ඇත්තේ සේපාලයන්ගේ අලුත් රාජකාරිය පිලිබදවය. ඒ තඹුත්තේගම දිසාපති කාර්යාලයේ
ඇති පරණ ලිපිගොනු වලට අංක ලබා දීමය. එය හිමි වන්නේ ඔහු පුස්තකාලයක
ද වැඩ කර ඇති බැවිනි. ඉතා ආසාවෙන් එම රාජකාරියට අත ගහන සේපාලට
හරි අපූරු ලිපි ගොනුවක් ලැබේ. එය නොතිත් ආශාවෙන් කියවන සේපාල,
තමන්ගේ යටිහිත දින කීපයක් වද දීමෙන් අනතුරුව ඉඩම් ආරවුලක් හේතුවෙන්
අසාධාරණයට ලක් වූවන්ගේ සිතට සහනයක් ලබා දීමට උත්සාහ කරයි. එහි ප්‍රතිඵලයක් වශයෙන් කුනු ට්‍රැක්ටරයේ අනියම් කම්කරු වූ සේපාල තම ප්‍රථම
නවකතාවට අත්පොත් තබයි.එතැන් පටන් මකරානන්දය අලුත් මුහුණුවරකින්
රචනා වී ඇත. මෙතෙක් දුර කථන භාශාවට සමාන ලේඛන වහරක් යොදා ගනිමින්
කෘතිය රචනා කර ඇති කතුවරිය ඉන් පසුව සේපාලගේ අත මෙහෙයවා ඇත්තේ ලේඛන බස් වහරිනි.
එය එක් ලෝකයක සිට තවත් ලෝකයකට පාඨකයා නොසිතන නිමේශයක දී රැගෙන යාමකි.
මා හැගි අදහසට අනුව නම් කතුවරිය ඒ විෂයෙහි ඉතා සාර්ථක ප්‍රතිඵල ලගා
කර ගෙන ඇත. කෘතියේ දෙවන පරිච්ඡේදය ආරම්භ වන්නේ ඒ අයුරිනි.
තඹර ථූප කතා වස්තුව, කුකුරුමාන
කතා වස්තුව සහ මකර චෝර කතා වස්තුව ලෙස දෙවන පරිච්ඡේදයේ කතා තුනකි. මකරානන්දයේ ඇතුලාන්තය පිලිබදව ඉන් යම් වැටහීමක් ලබා ගත හැකි වීම විශේෂත්වයකි.
නංහාමි, රන්මැණිකා, සෝමේ, ලොකු හාමුදුරුවන්, පොඩි හාමුදුරුවන් යන ප්‍රධාන චරිත
හරහා මෙම කතා තිත්වය ගලා යන අතර පද්මය සහ මකරා
යන සංකේත මූලික කොට ගෙන ඇත.
“ඒ කතාවෙන් නොපහන් සිත් ඇති එක් කටකාර ස්ත්‍රියක් එවිට කියා පෑයේ මං නං බුදුන්
වඩිනවා කිව්කොට ඔය පන්සලට නම් ආයි යන්නේ නැතැයි කියා ය.” (පිටුව 33)
වැවක් වටා පිහිටි ගමක වැව් මාලු ඇල්ලීම තම ජීවිකාව කරගත් මානව පිරිසකට වන්දනාමාන
කරන්නට බෝධියක් ඇත. නමුත් පංසලක්
නැත. ලොකු කුලේ ඇත්තන් හෙවත් වංශවතුන් මේ මාලු අල්ලන ජනයා
පහත් කොට දක්වයි. ඔවුන් සමග එක පන්සලක වැදුම් පිදිම් සිදු
කිරීම ද අපහාසයක් ලෙස සිතයි. නමුත් ඔවුන් අල්ලා ගෙන එන වැව්
මාලු නම් ආහාරයට ගැනීමට කිසිදු තහංචියක් නැත. සමාජයේ ඇති පටු
ආකල්ප හේතුවෙන් මෙලෙස කුලය ජාතිය පදනම් කර ගනිමින් මිනිසුන් කී දෙනෙකු නම් බැට කනවා
විය හැකි ද. කතුවරිය හීන් සීරුවේ පොත කියවන ලොකු ඇත්තන්ට මෙය
පසක් කර දී ඇත. නංහාමිගේ චරිතය මතු වී පෙනෙනුයේ මෙවන් වටපිටාවක
දීය. හාස්කම් ඇතැයි විශ්වාසයක් ඇති බෝධියට වෙහෙරක් තැනීමට
මේ මහලු සිතට අදහසක් පහල වේ. එම අදහස ක්‍රියාත්මක කරවනු පිණිස
ඔහු විසින් තමාගේ සියලුම ශ්‍රමය ද ධනය ද යොදයි. එය හුදෙක්
තම සිත සුව පිණිස නොව තම පිරිසගේ උන්නතිය උදෙසා ගන්නා ලද වෑයමකි.
“ඒ සියලු රාජකාරි අවසන්ව රාලහාමි පිටව යනතෙක් ම හිටි ඉරියව්වෙන් හිද බලා
උන් නංහාමි කුපිත වූ සියලු දෙනාම නිශ්ශබ්ද වන තැනක් බලා නිවුනු හඩින් පවසා සිටියේ අපි
මේ පේසා වලලු වලට උඩින් වෙහෙර ගැබ වටේට ලොකු නෙලුම් මල් පෙති ටිකක් බදාමෙන් මතු කරල
ගන්න ඕනි කියා පමණි.”
(පිටුව 97)
වචනයේ පරිසමාප්ත අර්ථයෙන් ම ඉතා නිශ්ශබ්ද චරිතයක් වූ නංහාමි කතා කලේ අවශ්‍ය
දෙයට පමණි. නමුත් ඔහු ඉතා හොද ඇහුම්කන්
දෙන්නෙකු බව කතාවේ මෙම පරිච්ඡේදයන් විදහා දක්වයි. කෙතරම් තත්ත්වය
බරපතල වූවත් තම පිරිස කුපිත නොකරමින් ප්‍රධාන කාර්යයට අවශ්‍ය මූලික ස්ථානය සාදා ගැනීමේ පෞරුෂය මේ මහලු පුද්ගලයා තුල ඇත. එය කාලීන නායකත්ව ලක්ශණයකි. දේශපාලන හා සමාජීය
නුවණැසක් නොමැති වුව ද නංහාමිගේ චරිතය තුලින් මැති ඇමතිවරුන්ට මෙන්ම පාලන තන්ත්රයේ
සිටින සියල්ලන්ට ම ප්‍රබල කනේ පහරක් එල්ල කර ඇත. ලාභ ප්‍රයෝජන
නොතකා කුලය, මලය පිලිබදව නොසිතා සියල්ලන්ට ම තමාට හැකි අයුරින්
උදවු කල නංහාමිගේ මරණයද සිදු වන්නේ ඉතා පුදුමාකාර ලෙසය. අපගේ
නෑයෙකු මිය ගියා වැනි හැගීමක් එතුලින් පාඨකයාට දැනවීමට කතුවරිය සමත්ව ඇත. වාචාර්තය අභිබවා යමින් ව්‍යංගවත් බසින් කතුවරිය එම මරණය පිලිබදව දැනුම්
දී ඇත්තේ මිනිත්තු කිහිපයකට පාඨකයා ද මරණ මංචකය
තුල සිර කරමින් ය. උතුරා හැලෙන මනුෂ්‍යත්වය වක්‍රව නංහාමිගේ
චරිතය තුල එලෙස ගැබ් කරමින් හණ මිටි අදහස් දරණ මහල්ලෙක් තරුණයෙක් බවට පරිවර්තනය වන අයුරින් ඉතා අපූරුවට ගොඩ නැගී ඇත. එම ගොඩ නැගීමේ ප්‍රතිඵලය ලෙස තඹර වෙහෙර, වැව් ගමේ
ඇත්තන්ට මඩෙහි උපන් සියපතක් ලෙස උරුම කරන්නට කතුවරිය සාර්ථක උත්සාහයක යෙදී ඇත. නංහාමිගේ මරණයත් සමග නවකතාවේ එක් අන්තයක් වූ තඹර ථූප කතා වස්තුව නිමා කොට
ඇත.
“ළමයි හම්බවෙනකොට වැදෑමහ එක්ක මහ බොක්කත් පිටවෙනව කියල ද පොඩි එකෝ.
අපටත් බඩ ගින්දර දැනෙනවනෙ නේද මයෙ කිරි පැටියෝ” (පිටුව 38)
කතාව තුල ගොඩ නැගෙන ප්‍රභලතම ස්ත්රීත්වයේ සංකේතය ලෙස රන්මැණිකාගේ චරිත්ය හදුන්වා දිය හැකිය. නමට පමනක්
සිටින සැමියෙකුගේත් දරුවන් පස් දෙනෙකුගේත් වගකීම් සහිත ගැමි ස්ත්‍රියකගේ යකඩ සිත කතුවරිය
එම චරිතය තුලින් ගොඩ නගා ඇත. ගෘහස්ථ ප්රචන්ඩත්වය,
ලිංගිකත්වය, ආර්ථික ගැටලු ආදී නොයෙක් පැති
වලින් තැලී පොඩි වී සිටින රන්මැණිකා නිරූපණය කරනුයේ වර්තමාන ගැහැනියයි. තමා හිසට තම අතමය සෙවණැල්ල යන්න ඉතා හොදින් අවධාරණය කරමින් ඇය ජීවන අරගලය
ජය ගැනීමට මහත් අරගලයක යෙදී සිටියි. රන්බණ්ඩා, නංහාමි, සමූපකාරේ මැනේජර්, කරුණා බේකරියේ මුදලාලි, ලොකු හාමුදුරුවන්,
රන්මැණිකාගේ ජීවිතය පෙරලියට ලක් කල පිරිමි චරිතය.අවස්ථාවට උචිතව එම සියලු හොද සහ නරක පෙරලීම්වලට මුහුණ දුන් ඇය විටෙක ආදරණීය
මවක් මෙන්ම තම පවුලට අවලංගු කාසියක තරම් හෝ වටිනාකමක් දුන් සැමියා වෙනුවෙන් ඔහුගේ නරක
කාලයේ දී ආදරණීය බිරිදක් විය.
“ඒ වුණාට ගෑණු අපි හරි ඉක්මනට මොළොක් වෙන ජාතියක් සෝමේ. හිතේ කොච්චර හයිය තිබ්බත් අපිටත් වරදින වෙලාවල් එනව. මං ඒකයි මෙච්චරෝම කියවන්නෙ” (පිටුව 237)
ජීවිතයේ හොද නරක අත්දැකීම් තුලින් ම ඉගෙන ගෙන ජීවිතයට නොබියව හැඩ ගැහෙන මෙම
කාන්තා චරිතය තුල හැගීම් යන භූමිකාවට පණ එන්නේ නොසිතන අවස්ථාවලදීය. සෝමේ යනු ඇගේ එක් සෙනෙහෙබර හැගීමකි. තමාගේ දරුවෙකු නොවූවත් ඇයට මවකගේ උණුසුම රන්මැණිකාගෙන් නොඅඩුව ම ලැබුණේ
ඇය දන්නා සියලුම දේවල් ද සෝමේට කියා දෙමිනි. සෝමේ වැරදි මගක
ගමන් කරද්දී ඉන් මුදා ගැනීමට ඇය කටයුතු කලේ සෝමේ ඇගේ වගකීමක් සේ සලකාය.එහි ප්‍රතිඵලයක් වශයෙන් රන්මැණිකාට අනපේක්ශිත ලෙස රට යෑමට ද වරම් හිමි වේ.
“නින්දත් නොනින්දත් අතර උන් ඇයට ඉදිවෙමින් පැවති ගේ දෙසින් පළමුව පාන් පුසුඹ
දැනෙන්නට පටන් ගත් අතර දෙවනුව ඒ සුවඳ කෙමෙන් දුර්ගන්ධයක්ව හිතට අපුලක් ඇති කරවන්නට
ද බේකරියක පෝරණුවක් උඩ දැවෙනා සේ සිතම ගිනියම්ව දැවෙන්නට ද විය.” (පිටුව
182)
කාන්තාවක් සතු චිත්ත ධෛර්යය මෙන්ම
ලිංගිකත්වය අරඹයා ඔවුන්ගේ සිතුවිලි තුල ඇති පසු බැස්ම ද අවස්ථා කිහිපයකදී ම මෙම නවකතාව
තුල හොදින් ඉස්මතු කර ඇත. මැනේජර් මහතාට රාත්තල් බාගේ පඩියකින්
සංග්‍රහ කරන රන්මැණිකා ඉන් වසර ගණනකට පසු බේකරියේ මුදලාලිගේ පාන් සුවදට නතු වන්නේ එහි
ප්‍රතිපලයක් වශයෙනි.එම අවස්ථාව කතුවරිය විසින් ගොඩ නගා ඇත්තෙ
ව්‍යංගවත් බසකින් වීම මෙහි ඇති තවත් එක් විශේෂත්වයකි. ඒ තුල
ගැහැණියකගේ රාගික හැගීම් සගවා ඇති මුත් එය පරිකල්පනය කල හැකි අකාරයට හික්මීමකින් යුතුව
වචන ගලපා ඇත. නමුත් ඒ සියල්ලම තම ජීවන අත්දකීම් කරගනිමින්
නවමු පන්නරයක් සහිතව එම කාන්තා චරිතය නැගී සිට වීමට කතුවරිය සාර්ථක උත්සාහයක නියැලී
ඇත.
“ඒත් එයා එයාගේ අසනීපෙත් එක්ක අතීත මතක විතරක් ගොඩ ගහගෙන දුක් වින්ද හැටි
මම අත් වින්දා.”
(පිටුව 375)
නමුත් තමාගේ අතීතය තුල ඇය මිය යන විටත් පීඩා විදි බව නවකතාවේ අවසාන පරිච්ඡේදයේ
ඉහත අකාරයට සදහන් කර ඇත. ඒ අනුව බලන
කල කෙතරම් සුඛයක් ලැබුණද ජීවිතයේ මුහුණ දීමට සිදු වූ ඇතැම් සිදුවීම් ගලේ කොටන ලද අකුරක් මෙන් ස්ත්‍රියකගේ හදවතෙහි නොමැකී තිබෙන බවට
වෙනත් සාක්ශි අවශ්‍ය නොවේ.එනමුත් දිරිමත් කාන්තාවක් ලෙස රන්මැණිකා
තමාගේ අභිමතාර්තයන් සඵල කරගත් තැනැත්තියක සේ හදුන්වා දිය හැකිය. මන්ද යත් ජීවිතයේ සැදෑ සමය වන විට ඇය තමාගේ සියලු වගකීම් තම ස්වාමියා වෙනුවෙන්
මෙන්ම තම දරුවන් වෙනුවෙන් ද කල හමාර බවිනි. ඕනෑම මවකගේ බලපොරොත්තුව
තම දරුවන් ඉහල තැනකට ගෙන ඒමයි. වැව් දිය හා කරට කර තරගයක ජීවන
අරගලයට මුහුණ දුන් ඇය එම බලාපොරොත්තුව තම දරුවන් අරඹයා මුදුන්පත් කරගෙන ඇත.
තත් කාලීන සමාජයේ රන්මැණිකෙලා පිලිබදව කතුවරියගේ සටහන එය බව මා හැගි
අදහසයි.
“අනේ නැන්දෙ දන්න කියනකාලෙ ඉඳල මයෙ අම්මෑ කිලි රෙදි හේදුවෙ මම නං උන්දැට
ඒව ඇන්දුවෙ කෙරුවෙ මම නං ආයි මොනාද මට ඕකෙ ඉගෙන ගන්ට තියෙන්නෙ.” (පිටුව 108)
කතාව පුරාවට ම පාදක වන මකර සංකේතය කරලියට ගෙන එන්නේ සෝමේගේ චරිතය හරහාය. අවිධිමත් අධ්‍යාපනයක් ලබා සර්ව සම්පූර්ණ මිනිසෙකු සෙවූ ඇයට
අවසානයේ පති කුලයට යාමට සිදු වන්නේ ආබාධිත විදෙස් ජාතිකයෙකු සමගය. නමුත් ඒ වන විටත් පතිවත, ප්රශ්නාර්ථයකට යොමු කර
ඇති කාල සීමාවක සර්ව සම්පූර්ණ මිනිසුන් නොමැති බව සෝමේ හෙවත් සෝමාවතී ද තම ජීවන අත්දැකීම්
තුලින් මනාව පසක් කර ඇත. සිහි කල්පනාවෙන් තොර වූ මවත් තමා
පිලිබදව සොයා නොබලන සහෝදරයෙකුත් මැද දිවි ගෙවන සෝමේගේ හයිය රන්මැණිකා නැන්දාය. ඇය මෙන්ම සෝමේ ද අත්දැකීම් තුලින් පන්නරය ලබා ගන්නා අයෙකි. අහිමි වීම් රැසක් මත වයසට වඩා නොමේරූ චරිතයක් ඇය තුලින් කතුවරිය පෙන්වීමට
උත්සාහ කර ඇත.
“එදා ඒ පාලු පෙදෙසේ හිද කුවේනිය කල විලාපය හතර වටින් දෝංකාර දුන්නෙය.සාපයෙන් පොළොව පැලී වෙන්ව ගොස් සෝමේගේ පා ගිනියම් කළේය.ලතෝනිය විස කැවූ හීයක් සේ යලි නොගැලවෙන ලෙස පපුවේ ඇමිණී ගියේය.ඉන් ලත් වේදනාවෙන් කුපිත වූ සෝමේ තම විමානයෙන් විජය පන්නා දමන බවට සහෝදරියක
සේ කුවේණිය ඉදිරියේ පොරොන්දු වූවාය.” (පිටුව 225)
යොවුන් විය එලබෙත්ම රාගය මුසු ප්‍රේමනීය හැගුම් කතුවරිය හරි අපූරුවට සෝමේගේ
භූමිකාව තුලින් පෙන්වා ඇත. සෝමේ යනු
කැලේ පිපුන මලක් ය. එය පරවීමට පටන් ගන්නේ පන්සලේ බෙර ගැසීමට
පැමිණි තරුණයාගෙන් ය. ඉන් පසුව මැලේරියා මදුරු වේශයෙන් ආ රාජ්‍ය
සේවකයෙකුගේ අතින්ය. ඉන් නොනැවතී ඉහත උදෘතය හා සම්බන්ධ නයිට්රයිඩර් වෙසින් ආ බසයේ රියදුරු හෙවත් මකර වෙසින් පැමිණි සර්ව සම්පූර්ණ මිනිසා
හැගීම් වලට බුද්ධිය පරයා ගැහැණු සිත මෙල්ල කල හැකි බවට සෝමේගේ නොමේරූ සිත අවිය කර ගනිමින්
කතුවරිය පෙන්වා දී ඇත. නමුත් එය පාඨකයාට දනුම් දීමට කතුවරිය
යොදා ගෙන ඇත්තේ කුවේනියගේ කතා පුවතයි. එමෙන්ම ලිංගිකත්වය අරඹයා
මෙම නවකතාවේ දී කතුවරිය යොදා ගෙන ඇත්තේ ව්‍යංගවත් බස් වහරකි. එය සෝමේගේ චරිතය වටා පමණක් නොව රන්මැණිකාගේ චරිතය වටා ද මනාව ගොඩ නැගී
ඇත. එයටම උචිතව සංකේත භාවිතා කර තිබීමද සාර්ථකව සිදු කර ඇත.
ඉහත උදෘතයෙන් එය මනාව ගම්‍යමාන වේ. ඒ අනුව
බලන කල සෝමේ යනු සහකම්පනයෙන් සියල්ල වටහා ගත් දුලබ ගැහැණු සිතක් බව නිගමනය කල හැකිය. චරිතය වටා තාත්වික බව ගොඩ නැගී ඇත්තේ එබැවින් ය.නමුත් සියල්ල උඩියටිකුරු කරමින්
තඹර වෙහෙර ගමෙන් සෝමේගේ ජීවිතය වෙනස් මානයකට යොමු කරන්නේ ඇයව කොලඹ යැවීමෙනි.
බොහෝ ඇත්තන්ට වැරදෙන්නේ කොලඹ ගිය විටය. සාමාන්‍ය
නවකතාවකට වඩා මෙය වෙනස් වන්නේ එබැවිනි. සියල්ල වැරදී ඇති සෝමේ
ගොඩ යන්නේ කොලඹදීය. එහි අවසාන ඵලය ලෙස ස්ත්‍රියක වශයෙන් සෝමේ
අතීතයට තිත තබා වර්තමානය යහපත්ව ගත කරයි. කතාව පුරා දිව යන
සෝමේගේ චරිතය විමර්ශන ශීලීව බලන කල මේ අප කතා කරන්නේ වර්තමාන තරුණියකගේ චිත්තය පිලිබදව
යන්න එමගින් වටහා ගත හැක. එය ඉතාමත් සූක්ෂම ලෙස සමාජයේ අවධානය
දිනා ගැනීමට හැකි වන අයුරින් පාඨකයාට දැන වීමට හැකි වීම කතුවරියගේ දක්ශතාවයයි.
“ඔබ වහන්සේ කවද හරි රටේ ප්‍රසිද්ධ කෙනෙක් වෙනව.ඉඩ
කඩං යාන වාහන ගෙවල් දොරවල් හම්බුකොර ගන්නව. අනේක සැප සම්පත්
විඳිනවා. ඒත් අන්තිම කාලෙ තමුන්ගෙ ඉඩ කඩං වලම කුලී කාරයෙක්
වගේ හිත නරකින් ජීවත් වෙන්ට සිද්ධ වෙනව. ඒක වලක්කන්නට බෑ.”
(පිටුව 249)
කතාවේ තවත් එක් ප්‍රධාන චරිතයක් වන්නේ පොඩි හාමුදුරුවන් හෙවත් පද්ම ශ්‍රී ඡෝතිශ්යවේදියාය. සමාජයේ ඇති තවත් එක් අන්ධ විශ්වාසයන් ඉලක්ක කර ගනිමින් ඉතාමත් ප්රබලව මිනිසාගේ
චිත්ත අභ්‍යන්තරය තුල ඇති බල ලෝභිත්වය, ආත්මාර්ථය මෙන් ම මසුරුකම,
කපටි බව වැනි හැගීම් සමුදායක් එම චරිත්ය
මගින් ද ඒ වටා සිටින පද්ම ශ්‍රී ගේ මිතුරන් මගින් ද මනාව නිරූපණය කර ඇත. නමුත් මෙහි ඇති විශේෂ කරුණ නම් පොඩි හාමුදුරුවන්ව යහ මග යැවීමට ලොකු හාමුදුරුවන්ද,
පද්ම ශ්‍රී යහමග යැවීමට ඩෙනිස් ගේ චරිතය ද ඉතා ප්‍රබල නමුත් අසාර්ථක
සටනක යෙදීමයි. එය ඉතා අපූරුවට කතුවරිය රචනා කර ඇත්තේ අප වටා
සිටින සුචරිත චරිත ඉදිරියේ අප ද කලු චරිතයක් වීමට උත්සාහ කරනා බව වටහා දෙමිනි.
පොඩි හාමුදුරුවන් වෙනුවෙන් ලොකු හාමුදුරුවන් විසින් තම අසපු ගමන ද
අත හැර දමයි. පද්ම ශ්‍රී වෙනුවෙන් ඩෙනිස් පේශලා අත හැර දමයි.
ඒ සියල්ල අත හැර දැමූව ද අවසානයේ ඔවුන් දෙනාට ම පොඩි හාමුදුරුවන්
හෙවත් පද්ම ශ්‍රී ගේ දුඛාන්තය පමණක් උරුම වේ. ජීවිතය නම් මෙයයි. මුදල බලය ඉදිරියේ දිනක ආත්මාර්ථය දිනුව ද පැරදුම අත ලගය.
“නාරද උඹ කොහේ ගියත් කමක් නෑ. හැබැයි කුකුරුමාන
මුහු කරළ මාලු ගොඩ දානව වගේ මිනිස්සුන්ව මත් කරල මුලා කරල සල්ලි හොයන්ට ලෑස්ති වෙන්ට
එපා.” (පිටුව 260)
කුකුරුමාන කතා වස්තුව පුරාවටම ප්‍රධානව දිව යන්නේ පොඩි හාමුදුරුවන්ගේ මාලු බෑමේ
නොසන්සිදෙන ආශාව පිලිබදවය. භික්ෂුවකට
අකැප ලෙස හැසිරෙමින් මහණදම් පුරණ නාරද පොඩි හාමුදුරුවන් කුඩා කල සිට මාලුන් මිය යන
අන්දම බලා හිදිමින් සතුටු වූවාය. නිරන්තර කුතුහලයකින් යුතුව
මෙවැනි ක්‍රියාකාරකම් කල උන්වහන්සේ පිලිබදව සැබෑ කතා පුවත හෙලිවන්නේ මෙම කතාව අවසානයේය. උන්වන්සේගේ උප්පත්තිය දෙමළ ය.නමුත් වර්තමානයේ
ඔහු භික්ෂුවකි. අවසානයේ උන්වහන්සේ තීරණයක් ගනී. ඒ මෙතෙක් කල් රැකි පැවිදිබව අත් හැරීමටය. එය එසේ
සිදු වීමට තිබූ බව කතුවරිය විසින් ඊට පලමුව විවිධ ඉඟි මගින් ලබා දීම කුතුහලය දනවන්නකි.
නාරදගේ සිත දන්නා ලොකු හාමුදුරුවන් ඉහත උපදෙස ලබා දෙයි.නමුත් හොදින් බලන කල එය හුදෙක් නාරද පොඩි හාමුදුරුවන්ට පමණක් නොව සියලු
පාඨක සමාජයටම දුන් උපදෙසක් ලෙස සැලකිය හැකිය.
“ආලෝකවත් වූ නෙලුම් පොහොට්ටුව පද්ම ශ්‍රී ට පෙනෙන්නේ මයිනහම ඇද කිණිහිරේ
තබා තලා ගත් රත් වූ යවටක් සේ ය. ගින්නෙන් මෘදු වූ යවට හදවත
පලා කිදා බැස පද්ම ශ්‍රී සිහිසුන් කරවයි.”
(පිටුව 286)
“නෙලුම් පොහොට්ටුවක් දුටු සැනින් එය විස කැවූ හීයක් සේ වේගයෙන් පැමිණ තම
අමිහිරි අතීතය තැන්පත් කර තිබූ අවදානම් කලාපයේ ගැටී වේගයෙන් පිපිරී යන්නේ පද්ම ශ්‍රී
ගේ මනස තුවාල කරමිනි.එහෙත් ආයතනය ගොඩ නැගීමත් සමග සිදු වූයේ
නිදන්ගත රෝගයක් වැළදුනු අයෙකු එම රෝගය සමග ජීවත් වන්නා සේ හිත රිදවාලන නෙලුම් පොහොට්ටුව
තම ජීවන සංකේතය කරගනිමින් ගමන් කිරීමටයි.” (පිටුව 320)
තම අමිහිරි අතීතයට සමු දී පැමිණෙන පොඩි හාමුදුරුවන්ගේ වෙනස්ම මුහුණුවරක් මකර
චෝර කතා වස්තුවෙන් ගොඩ නැගේ. තමන්ට
නිසියාකාර හදහනක් නොමැති වුවද සමස්ත ලංකාවෙහිම ඉහලම ස්ථරයේ ජෝතිශ්යවේදියෙකු ලෙස පද්ම
ශ්‍රී චරිතය ගොඩ නැගෙන්නේ ඒ අයුරිනි. නමුත් තවමත් ඒ අමිහිරි
යැයි ඔහු සිතන අතීතයට තවමත් ඔහු සමු දී නැත. අලු යට ගිනි පුපුරු
මෙන් එය තවමත් ඔහුට වේදනා දෙන කරුණක් බව ඉහත උදෘත මගින් පැහැදිලි වේ. කතුවරිය විසින් එය ඉදිරිපත් කර ඇති ආකාරය ඉතා විශේෂය. ඒ මන්ද යත් ඇය විසින් භාවිතා කර ඇති උපමා සහ සංකේත හේතුවෙනි. ලේඛන බස් වහර මනා සංයමයකින් යුතුව භාවිතා කරමින් සරල උපමා ගැඹුරු අර්ථයක්
දෙන පරිද්දෙන් මෙය රචනා වී ඇත. එය පද්ම ශ්‍රී ගේ සිතුවිලි
ඒ අයුරින්ම පාඨකයාට දැන වීමට පිටිවහලක් වූ බව මා හැගි අදහසයි.
සමාජය තුල ජීවත් වන විවිධාකාර චරිත පිලිබදව තීව්ර අදසක් දෙමින් පද්ම ශ්‍රී
වටා අකලංකත්, වර්ණසිංහ ඇමතිතුමාත් යන
චරිත ද්විත්වය ගොඩ නගා ඇත. තමා කෙතරම් ප්රබලයෙකු වූවත් ඊටත්
වඩා ප්‍රභලයෙකු නිරන්තරයෙන්ම සිටින බව සිහි කරවමින් පද්ම ශ්‍රී වර්ණසිංහ ඇමතිතුමාත්
අතර ඇති සංසන්දනාත්මක කතා පුවත එමගින් ගම්‍යමාන වේ. සෑම විටම
තමා බේරීමට අප සැවොම කූඨ වන බව ප්‍රකට කරවමින් එය හුවා දැක්වීමට අකලංකගේ චරිතය යොදා
එන ඇත. එමෙන්ම ඇමතිලාගේ අනු දැනුම ඇතිව කෙරෙන ව්‍යාජ ව්‍යාපාර
මෙන් ම නීති විරෝධී ක්‍රියාකරකම් ද අත යටින් පෙන්නමින් කතුවරිය සමස්ත සමාජයටම අතුල්
පහරක් එල්ල කර ඇත්තේ සත්‍ය පෙනි පෙනී නිහඩව සිටින ජනතාව වෙනුවෙනි. අන්ධ විශ්වාස මත එල්බ ගෙන තිමිර තුල ගිලී සිටින මිනිසා අවදි විය යුතුය යන
පනිවිඩය එමගින් සමාජ ගත කර ඇත. උපමා රූපක ද යොදා ගනිමින් එම
සමාජීය යටගියාව මකර පිලිම සංකේතයෙන් පාඨක සිතට ඒත්තු ගන්න්වා ඇත. ඒ අනුව බලන කල පද්ම ශ්‍රී වැනි අතේ නැටවෙන රූකඩ අප අතර ඕනෑ තරම් සිටින බව
වටහා ගත හැකිය. එම චරිත වලට අප විසින්ම දේවත්වයෙන් සැලකීම
අපගේම හිස අතගා බැලීමට සිතෙන සේ කතුවරිය විසින් ව්‍යංගයෙන් පෙන්වීම මෙහිලා විශේෂයෙන් සැලකිය හැකි කරුණකි.
“වැඩි පැහැදිලි කර ගැනීමකට මං ආපහු නවකතාවෙන් ම තෝර ගත්ත චරිත දෙකක හෘද සාක්ෂිය
එළියට අරගත්තෙ අපහැදිලි යමක් තියෙනව නම් වඩාත් පැහැදිලි වෙන්නයි.” (පිටුව
364 )
මෙම නවකතාවේ තෙවන කොටස ඉඩ හැරෙන්නේ එතෙක් නොවිසදුන පාඨක පැනයන්ට පිලිතුරු ලබා
දීමටය. එය ඉදිරිපත් කර ඇත්තේද හරි අපූරුවට එම
චරිත වල හෘද සාක්ශි පදනම් කරගෙනය. නඩුවේ පැමිණිල්ල
අසා, විත්තියෙන් ප්‍රශ්න කරනවා වැනි හැගීමක් ඉන් දිස් වේ.
“මකරානන්දය” තුල නෙලුම සහ මකරා ප්‍රධාන සංකේත
වේ. තඹර වෙහෙර ඉඩම් ප්‍රශ්න හේතුවෙන් කඩා දමා ඇත. අවසානයේ මකරාට ද හිමි අන්නේ එවැනිම ඉරණමකි. ඒ ගැලපීම
ද හරි අපූරුය. පද්මය මඩෙහි පිපී මඩ නොගෑවී ඉන් ඉහලට දසත සුවදවත්
කරයි. මකර තොරණ තුල මකරා සර්ව සම්පූර්ණ පුද්ගලයෙකු බිහි කරයි.
නමුත් සත්‍ය කරුණ නම් අප අතර එවනි ආකාරයේ කිසිදු සර්ව සම්පූර්ණ අයෙකු
නැත. කිසිවෙක් පද්මය තරම් පිරිසිදු ද නැත. එය හාමුදුරුවන්ට වුවද පොදුය. මිනිසාගේ චිත්තය තුල
සැගව ඇති ඒ පිලී ගද ගහන යක්ශයින් කුමන හෝ අවස්ථාවක පිටතට පැමිණෙයි. බලය, මුදල ඉදිරියේ නොනැමෙන දෙදණ පවා එවන් විටෙක
නැමෙයි.අකමැත්තෙන් වුවද පිලි ගත යුතු සත්‍ය එයයි. එය එසේ වුවද යමක් සිදු වන්නට නියමිත නම් එය ඒකාන්තයෙන්ම සිදු වේ.
ඒ සියල්ලම අවසානයේ මෙම නවකතාව තුල ඇති නවකතාවෙන් ජීවමාන වේ.
අනිත්‍ය ජීවිතය තුල එහි අරුත වටහා ගැනීම අප විසින් සිදු කල යුතුය
යන්න කතුවරිය විසින් පාඨක සිතට වටහා දීමට උත්සාහ ගෙන ඇත.
මෙහි ඇති ප්‍රධාන චරිත වලට අමතරව සුගුනි, උක්කුවා, රන්බණ්ඩා, ඩෙනිස්,
පේශලා, රාජ්‍ය සේවකයන් ඇතුලු සියලුම චරිත
තුලින් කුමන හෝ ආකාරයක පණිවිඩයක් පාඨක සිතට දැනවීමට කතුවරියගේ පරිකල්පනය ප්‍රබල වී
ඇත. ඉවසීම ,කරුණාව, තරහව, බලලෝභීත්වය, නොපසු
බට උත්සාහය,තැනට සුදුසු නුවණ යෙදීම මෙන් ම එකිනෙකා වෙනුවෙන්
පැන නැගි පරාර්ථකාමී බව වැනි දේ එම චරිත සියල්ල තුලින් විදහා දක්වයි. ඩෙනිස් ගේ චරිතය තුලින් ලාංකිකයන් වශයෙන් අපගේ උරුමයට ලබා දිය යුතු දායකත්වය
පිලිබදව ඉතා හොද අවධානයක් ලබා දී තිබීම විශේෂ කරුණකි. 1970 ගනන් වල සිට 2020 දක්වා කාල පරිච්ඡේදයක් තුල සමාජයේ
වෙනස්කම් මනාව ඉදිරිපත් කරමින් මොහොතකට පාඨක සිත එම කාලය තුල අතරමං කරන්නට කතුවරිය
සාර්ථක උත්සාහයක නියැලී ඇත.
එමෙන් ම ඉතාමත් ප්‍රබල ලෙස සංකේත යොදා ගනිමින් වාචාර්තයට මෙන්ම අවශ්‍ය සිද්ධීන්
උදෙසා ව්‍යංගාර්ථය යොදා ගනිමින් නොහිතෙන එක් අන්තයක් විග්රහ කරමින් මෙම කෘතිය ලියා
ඇති බව මා හැගි අදහසයි.පෙර සදහන්
කල ලෙසටම සුදු චරිත වල ඇති කලු පැත්ත ඉතා සංයමයෙන් යුතුව ඉදිරිපත් කරමින් රාගය,
බලය, මුදල, ආත්මාර්ථය
ඉදිරියේ යදම් වැටෙන මිනිස් චිත්ත අභ්‍යන්තරය මෙම කෘතියෙන් මනාව ගම්‍ය වේ. එපමණක් ද නොව නවකතාවක් තුල ඇති නවකතාවක් ලෙස නොතිත් කුතුහලයෙන් යුතුව කියවිය
හැකි වීම ද විශේෂයකි. භාශා ශෛලීන් වෙනස් කරමින් රචිත මෙය විශිශ්ට
සාහිත්‍ය ග්රන්ථයක් ලෙස සම්මාන ලැබීම අවිවාදිත බව නිතරගයෙන්ම
පිලිගත හැකි බව ඒ අනුව පසක් වේ. ප්‍රකාශ කිරීමට අවශ්‍ය සිද්ධාන්ත
සදහා හොදම චරිත ගොඩ නගමින් ඒ ඒ සමාජීය සිදුවීම් අරඹයා ගෙතී ඇති මෙය පරිකල්පනයක් වුවද
ජීවමාන කතා වස්තුවක් ලෙස පාඨකයාට දැන වීමට කතුවරිය සමත් වී ඇත. උපතේ සිට මැරෙන තෙක් ම ඇති ජීවන අරගලය විවිධ චරිතයන් තුලින් විවිධ කෝණයන්ගෙන්
මැන බලමින් සියලු දේ හා ඒකත්මික වී රස විදිය හැකි සුඛාන්තයත්, දුඛාන්තයත් අතරමැදි දෝලනයක් ලෙස “මකරානන්දය”
නවකතාව හැදින්විය හැකි බව මා හැගි අදහසයි.
ගොඩාක් වටිනා රසවත් විග්‍රහයක්
ReplyDelete🤍
ReplyDelete