දෙවෙනි ගමන (කෙටි කතාව)




"ශාක්‍යා...දුවේ...මෙන්න මේ සුලෝචනා දූ ඇවිත්..."

අම්මාගේ කටහඬින් අවදි වූ මා ඔරලෝසුවේ සනිටුහන් වූ වේලාව බැලුවෙ සැබැවින් ම මා ප්‍රමාද දැයි සැක හැර බලා ගැනීමටය..අලුයම එක පසු වී විනාඩි දෙකකුත් ගොස්ය..මතක පරිද්දෙන් මා එලාම් එක තැබුවෙ දොලහමාරටය.එය ද නොතකා මට නින්ද ගොස් ඇති හැඩය.දනිපිනි ගා ඇදෙන් බැසගත් මා ඊලගට නැවතුනේ නාන කාමරේය.එහි ද ඕනාවටත් වඩා වැඩි වේලාවක් මා රැදී සිටි බව මට වැටහුනේ සුලෝ අක්කාගේ කටහඩිනි.

"නංගි.. ගිහිල්ලත් හෝදන්න ටිකක් තියා ගනිං බං..විගහට නොආවොත් නැකතට යන්න වෙන්නෙ තුවාය ඇදං තමා ඕං..”

ජීවිත කාලෙ කෙනෙක්ට විදින්න ලැබෙන සුන්දරත ම අත්දැකීම...ඔව් අද තමයි දවස.. අවුරුද්දයි මාස දෙකකට පස්සෙ මං එයාගෙ වෙන දවස..ජීවිතේ මං දැකපු ලස්සන ම හීනෙ සැබෑ වෙන දවස..එයට නං පරක්කු වෙන එක නුවණට හුරු නැත..අවසානයේ සුලෝ අක්කාගේත් ඇයගෙ යෙහෙලියන් දෙදෙනාගේත් දෑතින් මා ඉතා අලංකාර උඩරට මනාලියක් සේ හැඩ ගැන්වුණි..කාලය මටත් හොරා හෝරා ගනනින් පියඹා යද්දී එලැඹි සුබ මොහොතින් මගේ හීනය සැබෑවක් වුණි.ඒ මාගේත් දුමිදුගේත් විවාහය කිසිදු බාධාවකින් තොරව සිදු වීමෙනි..

ඉතාමත් ප්‍රීතිමත් වුවද  වෙහෙසකර දවසක අවසානයේ මමත් දුමිදුත් සියලු දෙනාගේ ආශිර්වාදය මැද කන්ද උඩරට බලා පිටත් වූයේ අප දෙදෙනාගේ මංගල රාත්‍රිය සමරන්නටය.හමා යන මද නලින් ගතේ තෙහෙට්ටුව අඩු වූව ද කොළඹ සිට කන්ද උඩරට තෙක් යන ගමන් මගේ මා හට නොදැනීම නින්ද ගොස් තිබුණි.

“ශාක්‍යා.. නැගිටින්න කෙල්ලෙ... ඔන්න අපි ආවා..”

කන ගාවින් ම ඇසුනු දුමිදුගේ හඩින් මා අවදි වූයේ වෙනදාටත් වඩා සීතලකින් මාගේ ගත වෙලා ගනිද්දීය..දුමිදුගේ අතෙහි එල්ලී මා අපට වෙන් කර තිබූ කාමරය සොයා ගියේය.හෝටලයේ දෙවන මහලේ දෙවෙනියට තිබූ ඒ කාමරය සැබැවින්ම මනහරය.සදලුතලය මතට පිවිසි විට ඈතින් දලදා මන්දිරය දර්ශනය වන අතර ම මහනුවර නගරයේ විදුලි එලි ඉතා රමණීය දසුනක් අනිත් පසින් මැව්වේය.මා සදලු තලයේ සිට ඒ සිරිය විදිද්දී දුමිදු වොශ් දාගෙනත් හමාරය.වේලාව රෑ අටට දහයක්ව පවතිද්දී මා ද දුමිදුගේ උදව්වෙන් කොණ්ඩයට ගසා තිබූ කටු පැකට් දෙකක විතර කටු ගලවා ගෙන නාන කාමරයට වැදුනේ එළැඹෙන්නේ දිවියේ සොදුරුත ම රාත්‍රිය නොවේ දැයි කල්පනා කරමිනි.
හෝරාවකට ආසන්න කාලයක් නාන කාමරයේ ගත කල මා එලියට පැමිණෙන විටත් දුමින්දු රාත්‍රී කෑම ඇනවුම් කර ගෙන්වා ගෙනත් අවසන්ය.පසුගිය දිනවල ගත කල අවිවේකී බවින් තොර ව ඉතා සැහැල්ලුවෙන් රාත්‍රී ආහාර වේල ගත් අප දෙදෙන සදලු තලයේ හිදිමින් මද වේලාවක් අල්ලාප සල්ලාපයේ යෙදෙන්නට විය.තවත් හෝරාවක් පමණ එයට මිඩංගු කල අප අවසානයේ සයනයට පැමිණියේ හිත තුල කිති කැවෙන හීන් සිතුවිල්ලක් ද සමගිනි..

මන්දාලෝකයෙන් කාමරය ම වෙලෙද්දී මාගේ දෙතොල් මත දුමිදුගේ දෙතොල් වෙලුනෙ තවදුරටත් ඒ කිති කැවෙන සිතුවිල්ල මුලු සිරුර පුරා ඔඩු දුවමිනි.පියවි සිහියත් අසිහියත් අතර වරින් වර දෝලනය වූ මා දුමිදුගේ කාම විජ්ජා හමුවේ දිව්‍ය ලෝකය තුල ම අතරමං විය.ඇවිස්සෙන හැගීම් වලින් වල්මත් වූ අපගේ මේ අපූරු සෙල්ලම තවත් හෝරා කීපයක් දක්වා ඇදී ගියේ අවසානයේ අප දෙදෙනාට ම හොරා නිදි දෙව් දූ පැමිණීමට පෙරාතුවය.

පෙරදා රැයේ සිදු වූ දේවල් හීනෙන් මෙන් යලිත් පෙනෙද්දී මා අවදි වූයේ අද දිනයේ කරන්නට තවත් බොහෝමයක් දේ තිබෙනා බැවිනි.නමුත් මා අවදි වෙද්දී සයනයේ දුමිදු පෙනෙන්නට නොසිටියේ ය.ඇදෙන් බැස ගත් මා නාන කාමරයට එබී බැලුවේ ඒ තුල හෝ ඔහු සිටීවි යැයි අනුමානයෙනි.එහි ද ඔහු නැත.නැවතත් කාමරයට පිවිසි මා දුටුවේ ඇද මත තිබූ පිරිසිදු කමේ සංකේතයයි.එය ද හකුලා ගත් මා සදලු තලයේ බැලූ ව ද දුමිදු නොසිටි බැවින් ජංගම දුරකථනයට ඇමතුමක් ගත්තේය..අවාසනාවකට එය ද නාද වූයේ කාමරයේ මේසය මත දීය.සූට් කේසයෙන් අතට හමු වූ පලමු ඇදුම දාගෙන මා කාමරයෙන් එලියට ගියේ හෝටලයේ පිලිගැනීමේ නිලධාරිනිය හමු වීමේ අටියෙනි.ඇයගෙන් මාගේ සැමියා පිලිබදව එතරම් සතුටුදායක ආරංචියක් නොවූයෙන් මා නැවතත් කාමරයට ගියේ හිතේ ඇති වූ සාංකාවෙනි.එලෙසින් ම සයනය මත වැටුනු මට නොදැනීම නින්ද ගොස්ය.

ඇහැරෙන විට පස්වරු දෙක පහු වී තිබුණි.ඒ වන විටත් දුමිදු නැවත පැමිණ සිටියේ නැත.එහෙයින් මා අම්මාට කතා කොට සිදු වූ සියල්ල කීවේ වෙනත් කරන්න දෙයක් නොවූයෙනි. රාත්‍රියේ දී ම මාගෙ දෙමව්පියන් ද දුමිදුගේ දෙමාපියන් ද අප සිටි හෝටලයට පැමිණියේ හෙට දිනයේ අපගෙ දෙවන ගමන ද යෙදී ඇති බැවිනි.නමුදු තවමත් දුමිදු නැත.හෝටලයේ කළමණාකරු දැනුවත් කොට මේ පිලිබදව සොයා බැලූ විට හොයා ගත හැකි වූ එක ම කරුණ නම් එදා අලුයම පහට පමණ දුමිදු හෝටලයෙන් පිට වී ඇති බවයි.එබැවින් දෙවන ගමන යෑමට සිටි මා හට සිදු වූයේ පසු දා දුමිදුව සොයා පොලිස් පොතේ පැමිණිලි කිරීමට යන්නටය.

මෙලෙසින් මාස දෙකක් ගත වූවද අදටත් දුමිදු පිලිබද ව කිසිදු ආරංචියක් නැත.ඔහුගේත් මාගේත් මහන්සියෙන් ගොඩ නැගුනු ගෙදර තුල අද මා තනිව ඇත.හීන ගොඩක් මැවූ වරදට අද මා කදුලු වගුරමින් තනිව දඩුවම් විදී.

“අක්කේ... අක්කේ..”.

ඒ අල්ලපු ගෙදර දේවිකා නංගීය.දුමිදුගේ අතුරුදන් වීමෙන් පසුව මාගේ තනි නොතනියට සිටියේ ඇයයි.
ඇය පැමිණි කාරණය දැනගනු පිණිස මම දොරකඩටට ගියෙමි..

"ඇයි නංගි එලියේ එන්න ඇතුලට..."

"අක්කේ.. වාඩි වෙවී ඉන්න වෙලාවක් නෑ.. මං මේ කියන්න ආවේ අර මං කීව මහමෙව්නා අසපුවට දානෙ වේලක් දෙන්න ඔන්න මේ පාර හම්බ වුනා.."

"අනේ වාසනාවන්...ඉතින් මොකද මේ තරං හදිස්සියක්..."

"හදිස්සි නොවී පුලුවන් ද හෙට හීල් දානෙ තීන්නෙ..මං මේ කඩේට දුවන්න කියල.. අනේ අක්කට පුලුවන් නං අම්මට ටිකක් උදව්වට යනවද.. "

"හරි නංගී මං යන්නං... "

ගේ අස්සට ම වෙලා කිසි ම අරමුණක් නැතුව හිටපු මට ඒ ආරංචියෙන් ඇගට අලුත් පනක් ලැබුන වගේ.මහමෙව්නා අසපුවෙ දානයක් ලැබෙන එක හරි ම කලාතුරකින් ලැබෙන දෙයක්.මොකද ඒ තරමට ඒ වෙනුවෙන් පෙල ගැහුන දායක සභාවක් ඒ පෙදෙසේ සිටියේය.පොරොන්දු වූ පරිද්දෙන් ම දේවිකා නංගිලගෙ දානය වෙනුවෙන් උදව් වූ මට ඔවුන් සමගින් ම දානමය කටයුතු සදහා සම්මාදං වීමට අසපුවට යෑමට ද සිදු විය.ඒ දේවිකා නංගීගෙ දැඩි පෙරැත්ත මතයි.

මෙවැනි ම සුදු වැල්ලෙන් පිරුණු ගමේ පන්සලේ බෝ මලුවේ මාත් දුමිදුත් ඇවිද ගියේ බලාපොරොත්තු රැසක් හිස මත තබාගෙනය.නමුත් අද මා පමණි.විශ්ව විද්‍යාලයේ පලමු වසරේ සිටියදී හමුවුනු ඒ නිහඩ සිසුවා අවුරුදු හතරක යහලුකමකින් පසුව ඒ බැදීම ආදරයකට හැරවූයේ ද මෙවැනිම සුදු වැලි තලාවකින් යුත් ගංගාරාම බෝ මැඩ අසලදීය.නමුත් ඒ සියල්ල දැන් මතකයන් පමණි..ඒ මතකයන් සමගින් මා බෝ මලුව මතින් යන විට ඈතින් දුටු රුවක් නිසාවෙන් මා සිටි තැන ම ගල් ගැසුනි.

වැලි තලාවට හානියක් වේ යැයි බියෙන් මෙන් ඉතා මුදු ලෙස පා තබමින් සංසුන් ලීලාවෙන් සක්මන් කරනා එක් භික්ෂුවක් මාගේ සිත මොහොතකට නතර කලේය.ඔව් මේ ඔහුමය.අවුරුද්දයි මාස දෙකක් ආදරය කොට මාස දෙකක් මුලුල්ලෙ මා සෙවූ මගේ ආදරය..අද කසා වතින් සැරසී බුදු පුතෙකු වී හමාරය.හදවත ඔහුගෙන් අසන්නට ප්‍රශ්න රැසක් මොලයට යවද්දී මා කල එක ම දෙය නං ඔහු ලගට ගොස් දන ගසා වැදීමය.මාස දෙකක් පුරාවට ගලා ගිය කදුලු අද මාගේ දෙනෙත් තුල නැත..ඇත්තේ එක ම එක පැනයක් පමණි.

"උපාසිකාව... මේ ජීවිත ගමන තුල අප මුහුණ දෙන සුඛය කෙටි කාලීනය..දුක්ඛය දිගු කාලීනය..ඉන් මිදීමට නං සත්‍ය වටහා ගත යුතුය.සැපය අවසානයේ ද ඇත්තේ දුකකි..එහෙයින් අප දුක තුනී කරගනිමින් දෙලොවේ ම උන්නතිය උදෙසා මේ සසර ගමන කෙටි කර ගත යුතුය.එයට උචිත ම මග මේ කසාවතයි.. "

අසන්නටත් පලමුව මාගේ පැනයට උන්වහන්සෙ පිලිතුරු දී ගල් පඩිපෙල තරණය කරමින් අසපුවට වැඩියේය..උන්වහන්සේ වඩින දෙස බලා සිටි මම ද ඒ පසුපස ඇවිද ගියේය..ඒ, එදා යෑමට බැරි වූ දෙවෙනි ගමන අද ඔහු කියා දුන් මග ඔස්සෙ යෑමට අදිටන් කරගනිමිනි..

#කස්සා

Comments

Post a Comment